අරියධම්ම සේනාසනය (කජුවත්ත) නාමල් ඔය රුහුණුගම අරණගංවිල

ලොව වසන මිනිසා හය හතර නොදැන සතුට සැනසුම සොයනු පිණිස නව විද්‍යා දැනුමින් විශ්වය තරණය කල ද කිසි දින ලොව තුල සැබෑ සැනසුම සෙවිය හැකිද? ඔවුන් සැප යැයි දුකම රැස්කරති. ලොවින් එතෙර වූවෝම සැබෑ සැප ලබති. එවන් ලොව්තුරු මග ලෝ සතුන් වෙත කාරුණිකව පෙන්වා දෙමින් පෞරාණික බුදු සිරිතට අනුව එමග වඩින සුපේක්ෂල ශික්ෂාකාමි මහා සඟරුවන වැඩ වසන ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවට අනුබද්ධ නිසල අරණකි සිරි අරියධම්ම සෙනසු න.

 


පිහිටීම

පොළොන්නරු දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි කජුවත්ත ග්‍රාමයේ නාමල් ඔය කොටසට අයත් රක්ෂිත වන පෙදෙසකට මායිම්ව පිහිටා ඇත.

 


දැක්ම

පෞරාණික බුදුසිරිතට අනුව ශීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන සිය දහස් ගණනක් සුපේක්ශල ශික්ෂාකාමි බුදු පුතනුවන් වැඩ වසන උතුම් පුණ්‍ය භූමියක් බිහි කරලීමත්, එමගින් දෙස් විදෙස් ජනතාව අධර්මයෙන් ධර්මයට යොමු කරවා ශීල, සමාධි, ප්‍රඥා මග යොදවා අතීතයේ මෙන් ගිහි පැවිදි සිල්වත් ගුණවත් මාර්ගඵල ලාභී උතුමන් ලොව සැම දෙස අපමණ බිහිවීමෙන් සම්බුදු සසුන බබුළුවාලීම අපේ උතුම් දැක්මයි.

 


මුලසුන

ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ අධිපති ප්‍රධාන අනුශාසක මහෝපාධ්‍ය ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය මහා කම්මට්ඨානාචාර්ය සාසන ධජ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහ නාහිමි සමිදුන්ගෙ අනුශාසකත්වය අනුග්‍රහය උපකාර මත කොග්ගල වෑදූව ආරණ්‍ය ප්‍රධාන අනුශාසක පූජනීය බඩල්කුඹුරේ අනුරුද්ධ හිමිපාණන් ගේ මග පෙන්වීම ආශිර්වාද මත ගල්දූව යොගාශ්‍රම මූලස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය කහගොල්ලේ සෝමවංශ හිමිපාණන් හා යෝගාශ්‍රමීය භාවනා ප්‍රවර්ධන උපදේශක ධූරන්දර නා උයන අරණ්‍යවාසී පූජනීය අඟුල්ගමුවේ අරියනන්ද හිමිපාණන්ගේද අවවාද අනුශාසනා හා උපකාර මත පූජනීය ඇන්දුන්කැලේ වත්තේ ධම්මාරාම හිමියන් විසින් කුල පුත්‍රයින් පැවිදි උපසම්පදාවෙහි යොමු කර පහළොස් නමක් පමණ සඟ පිරිසට හා ගිහි පිරිසට නායකත්වය දෙමින් මෙහි සාසන පිළිවෙතෙහි යෙදී සිටියි.

 


ඇරඹුම

  • පිරිහීගෙන ගිය ශ්‍රීමත් ගෞතම සම්මා සම්බුද්ධ ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවීමේ අති උදාර අධිෂ්ඨානයෙන්, අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශාභිදාන මහා නාහිමිපාණන් ගේ සමුත්පාදකත්වයෙන් හා අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාමාභිදාන මහා නාහිමිපාණන් ගේ ප්‍රධානාචාර්යත්වයෙන් ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා නම් උතුම් සසුන් වැඩපිළිවෙල ඇරඹිණි.
  • ඊට අනුබද්ධ වූ ගාල්ල, කොග්ගල වෑදූව ආරණ්‍ය ප්‍රධාන අනුශාසක ධූරන්ධර අති පූජනීය බඩල්කුඹුරේ අනුරුද්ධ හිමිපාණන් ගේ ආශිර්වාදයෙන් එහි වාසී පූජනීය ඇන්දුන්කැලේ වත්තේ ධම්මාරාම හිමි, පූජනීය බටදූවේ සන්තමාන්‍ය හිමි ඇතුළු හිමිවරු පා ගමනින්, බස් රථ හා දුම් රියෙන් දුර බැහැර ගම් වලට වැඩමවා ජනතාවගේ අධ්‍යාත්මික ගුණ වැඩුම පිණිස ක්‍රියා කළහ.
  • නියම බෞද්ධ ප්‍රතිපදාවෙන් ඈත්ව නාමික බෞද්ධයින් ලෙස සිටින එකී ජනතාවට නිවැරදි දහම් අවබෝධය ලබා දී සීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණුව පිණිස යොමු කරවීමේ කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාව අවබෝධ වූ හෙයින් 2004.01.01 දින "සදහම් චාරිකා ධර්ම ප්‍රචාරක" නම් වැඩපිළිවෙල ඇරඹිණි.
  • පෞරාණික බුදු සිරිතට අනුව ගමින් ගම පිණ්ඩපාත ආදී පිළිවෙතෙහි යෙදෙමින් ධර්ම ප්‍රචාරනය සඳහාම උක්ත සංවිධානය මගින් මූල්‍යමය, භාරකාරත්වය හා ශ්‍රම දායකත්වයෙන් කටයුතු කරයි.
  • කිසිදු ආමිස අපේක්ෂාවකින් තොරව භික්ෂූන් වහන්සේලා පස් හයනමක් චාරිකා රථයෙන් ධර්ම ප්‍රචාරයේ යෙදෙති. ගාල්ල, මාතර, නුවර එළිය, අනුරාධපුර, පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, අම්පාර, මහියංගණය, බදුල්ල, වලපනේ වැනි ප්‍රදේශවල විහාර, පාසැල්, ප්‍රජාශාලා හා තුරු ගොමු ආදී ස්ථානවල  ජනතාව එක් රැස් කරවා ධර්ම දේශනා, ශීල, භාවනා වැඩසටහන් පැවැත්වූහ.
  • දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී, මහවැලි "සී" හා "බී" කලාපවල දහස් ගණනක් ජනතාව රැස්කර සිදුකල සීල භාවනා වැඩසටහන් නිසා "මෙත් සිසිල කලාපීය බෞද්ධ සංවිධානය" බිහිවිය. එමගින් කජුවත්ත ප්‍රදේශයේ අක්කර 3 හමාරක භූමියක් මිලට ගෙන ධර්ම ප්‍රචාරනය පිණිස සසුනට පූජා කරන ලදී. එහි 2006.07.10 වන ඇසල පෝ දින අරියධම්ම ආරණ්‍ය සෙනසුන ආරම්භ කරන ලදී.

 


ආමග

  • මුල්ම වස් කාලය කුඩා නිවසක් සහිත සෙනසුනෙහි භික්ෂූන් වහන්සේලා දෙනමක් විසූ අතර එම කඨින පිංකමට වැඩමවා වදාල බඩල්කුඹුරේ අනුරුද්ධ හිමි ඇතුළු සඟරුවන බෝධි රෝපනයක් හා භික්ෂු කුටියකට මුල්ගල් තැබීම සිදු කළහ.
  • 2007 වස් කාලය භික්ෂූන් වහන්සේලා පස් නමක් වැඩ සිටි අතර කඨින පිංකමට ශ්‍රී කල්‍යණී යෝගාශ්‍රමාධිපති අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ ප්‍රධාන සඟරුවන සහභාගී විය. කුටි 05ක් හා දාන ශාලාවක් දායක පිංවතුන් පූජා කරන ලදී.
  • ආරම්භයේ සිට වසර 03ක් යනතුරු, පොහෝ දින හා පිංකම්වලට දුර බැහැර සිට පැමිණි සිය ගණන් බැතිමතුන්ට පහසුකම් බොහෝ හිඟ වූ අතර සීල භාවනා කටයුතු එළිමහන් වල ගස් යට සිදු කරන ලදී.
  • 2011 වසර වන විට "මෙත් සිසිල කලාපීය බෞද්ධ සංවිධානය" , "සදහම් චාරිකා ධර්ම ප්‍රචාරක සංවිධානය" හා සැදැහැතියන්ගේ අපමණ කැපවීම මත
      - වර්ග අඩි 4000 ධර්ම ශාලාවක්
      - බුද්ධ මන්දිරයක්
      - අටවිසි බෝධි ප්‍රාකාරයක්
      - භික්ෂු කුටි 20ක්
      - මුළුතැන් ගෙයක් (දන් පිසීමට
      - පිණ්ඩපාත ශාලාවක්
      - ගිහි පිංවතුන්ට සනීපාරක්ෂක පහසුකම් ද
  • ඉදිකර ඇති අතර කජුවත්ත ග්‍රාමයට හා සෙනසුනට විදුලිය ද ලබා ගැනීමට හැකිවිය.
  • වල් අලි තර්ජන හමුවේ වැසි ජලයෙන් පමණක් ගොවිතැන් කරන ඉතා දුෂ්කර, කටුක ජන දිවියක් ගෙවන දිළිඳු ආර්ථිකයක් හිමි මිනිසුන් වසන මේ ගම් පියසෙහි ඉදිවුන සෙනසුන මෙතෙක් මග පැමිණ ඇත.

 


මෙහෙවර

  • දන්දීම, බෝධි පූජා පැවැත්වීම, පාංසකූල දීම ආදී ආමිස පූජා වලට පමණක් පුරුදු වී සිටි දස දහස් ගණනක් පමණ ජනතාව බුදුදහමෙහි අධ්‍යත්මික හරය වන ශීල භාව්නාදී ප්‍රතිපත්ති ධර්මයන්ට නැඹුරු කර තිබේ.
  • මෙම ආරණ්‍යයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා විසින් මරණ, ලෙඩ රෝග, දුක් පීඩා සහ මානසික පීඩන වලට ජනතාව පත් වී ඇති අවස්ථාවන්හි දී සම්බුදු දහමට අනුව ජීවිතය දෙස ප්‍රායෝගිකව දැන ගැනීමට මග පෙන්වීම් ලබාදීම තුලින් සම්බුදු දහමේ ජීවමාන සුවය ජනතාවට එළිපෙහෙලි කර දීමට කටයුතු කර ඇත.
  • මේ ලක්දිව ධර්මද්වීපයක් ලෙස ප්‍රචලිත වුවත්, පෞරාණික බුදු සිරිතට අනුව පිළිවෙත් පුරන භික්ෂූන් වහන්සේලා වැඩ වසන ස්ථාන දුර්ලභ හෙයින් පෞරාණික බුදු සිරිතට අනුව නොයෙකුත් ගම් දනව් වල පිඬුසිඟා වඩිමින් ශීල භාවනා ගුණ පුරමින් නිවැරදි සසුන් වැඩපිළිවෙලක් අනුගමනය කරන සෙනසුනක් වශයෙන් මෙය ස්ථාපිත කර ඇත.
  • කොග්ගල වෑදූව ආරණ්‍ය සේනාසනයේ සිට ආරම්භ කිරීමට යෙදුනු ධර්ම ප්‍රචාරක වැඩ පිළිවෙල එලෙසින්ම මෙම කජුවත්ත ආරණ්‍ය සේනාසනය තුලින් භික්ෂූන් වහන්සේලා නොයෙකුත් ප්‍රදේශ වලට වැඩම කරවමින් ධර්ම ප්‍රචාර කටයුතු සිදු කරනු ලැබේ.
  • සැදැහැවතුන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය තව තවත් දියුණු කරලීම සඳහා පෞරාණික ඓතිහාසික පුණ්‍ය භූමි වන අනුරපුර, මහියංගන, සේරුවාවිල, සෝමාවතිය, පොළොන්නරුව ආදි තවත් විවිධ පූජා භූමි පාදක කර ගනිමින් වාර්ෂිකව විශේෂ වන්දනා චාරිකා ආදිය සිදු කරනු ලැබේ.
  • එහිදී ශීල භාවනා වැඩසටහන් පැවැත්වීම, දන්සැල් පැවැත්වීම, කප් රුක් චීවර පූජාදී බුද්ධ පූජා පැවැත්වීම ආදියත් ගරා වැටී තිබූ ජේතවනාරාමය, අභයගිරි වැනි චෛත්‍යය  ප්‍රතිසංස්කරණය කිරීමෙදිත්, වර්තමානයේදී ඉදිකරමින් පවතින අනුරාධපුරයේ "සඳහිරුසෑය" වැනි උතුම් සත්කාරය සඳහාත් ශ්‍රම දායකත්වයන් ලබා දීම වැනි සුවිශේෂි පිංකම් ආදියද සිදු කෙරේ.
  • එපමණක් නොව සැදැහැවතුන් දැනුවත් කොට දඹදිව බුද්ධ භූමිය අසල 500 කට වැඩි දුගී මගී යාචක ආදීන්ට වියළි සලාක පරිත්‍යාග කිරීම ආදි පිංකම් ද සිදු කෙරිණ.
  • කායික මානසික වෛද්‍යවරුන්ට හසු නොවු සහ සුවපත් කිරීමට නොහැකි වූද එසේම දේවාල ආදි ස්ථාන වලින් කරනු ලබන ගුප්ත ක්‍රම වලින් ද සුවපත් කිරීමට නොහැකි වූ ඇතැම් කායික මානසික අසනීප තත්වයන් බුද්ධරත්නයේ, ධර්මරත්නයේ හා සංඝරත්නයේ අසීමිත ගුණානුභාව බලයෙන් යුතු ධර්ම දේශනා හා සූත්‍ර දේශනා මගින් සුවපත් කිරීමට කටයුතු කිරීම.
  • එවැනි ඇතැම් අව්ස්ථා වලදී භූත ප්‍රේත ආදී අමනුෂ්‍ය ග්‍රහණයන්ට හසු වූ පිංවතුන්ගේ තොරතුරු විස්තර සොයා දැන ගැනීම මගින් බුදු දහමෙහි සත්‍යතාවය ලොවට තහවුරු කරලීම සඳහා ශ්‍රව්‍ය දෘශ්‍ය සාධක වශයෙන් ජනතාවට ඉදිරිපත් කර ඇත.
  • මෙම සෙනසුනෙහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා ගොවිතැන් කිරීමෙන්, වෙළඳාම් කිරීමෙන්, රැකී රක්ෂා කිරීමෙන් හා මිල මුදල් පරිහරණයෙන් තොරව ශීල භාවනා දී ප්‍රතිපත්ති ධර්මයන්හි යෙදෙන නිසා ඕනෑම පිංවතෙකුට ඉතා ශ්‍රද්ධා ගෞරවයෙන් සැහැල්ලුවෙන් දාන ශීල භාවනාදි පුණ්‍ය කටයුතු වල යෙදීමට හැකි වන පුණ්‍ය භූමියක් බවට පත් කර ඇත.
  • මෙම ආරණ්‍ය සේනාසනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් බෞද්ධකම පිළිබඳ හරිහැටි අවබෝධයක් නොතිබුණු ඇතැම් මිනිසුන් විසින් කැලෑ ගිනි තැබීම් හා සතුන් දඩයම් කිරීම් ආදී කරන ලද අකටයුතුකම් මේ වන විට නතර වී ඇත එපමණක් නොව ගිනි තබා විනාශ කරන ලද සෙනසුනට යාබද රක්ෂිත වන ප්‍රදේශයෙහි රුක් රෝපණ වැඩසටහනක්ද මේ වන විට ක්‍රියාත්මක කර ඇත. මෙමගින් ගහකොළ සතා සිව්පාවුන් සුරෑකීම වශයෙන් පරිසරය සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ.
  • වර්තමානය වන විට ද මෙම සෙනසුනේ පවතින සුවිශේෂි භාවය නිසා නැරඹීමට සහ දන්පැන් දීමට පැමිණෙන නමුත් සීල භාවනා, ප්‍රතිපදාවෙහි නොයෙදි වාසය කල දහස් ගණනක් ජන්තාව අතර ළමා තරුණ වැඩිහිටි බොහෝ පිරිසක් ද විශේෂයෙන් කුඩා දූ දරුවන් ඇති තරුණ මව් පියවරුන් ද ඇතුළු බොහෝ පිරිසක් පවුල් පිටින් සීල භාවනා ප්‍රතිපදාවට යොමු කරවා ඇත.

 


ඇරයුම හා පැතුම

අප සසුන් උත්තමාර්ථය සර්වප්‍රකාරයෙන්ම මුදුන් පමුණුවාලීම සඳහා සසුන් ගුණ පුරන මුලු ලෝ වාසී පැවිදි උතුමන් හා ගිහි පිංවතුන්ගේ ආශිර්වාදය හා සහයෝගයත්, මහා බ්‍රහ්මතුමා, සක්දෙව් රජතුමා, මෙත් බෝසත් තුමා, ආදී බඹලොව, දෙව්ලොව වාසී සියලු සම්‍යක්දෘෂ්ටික, සාසන මාමක දෙවි දෙවතාවන්ගේ රැකවරණයත් මේ සඳහා යොමු වීමෙන් සාසන අභිවෘද්ධිය මුදුන්පත් කරලමින් අප සැමටද නිරුපද්‍රිතව, අපරාජිතව, සුවසේ නිර්වාණාවබෝධය වේවා යන්න පැතුමයි.

 


ඉදිරි සැලසුම්

උස අඩි 132ක් හා වට අඩි 340ක් වන ඇතුලත ධර්ම ශාලා සහිත සුවිශේෂි චෛත්‍යක් ගොඩ නැංවීමෙන් සීල-භාවනා හා ධර්ම දේශනා සඳහා පහසුව සැලසීමේ සැලසුමක් යෝජනා වී ඇති අතර ඊට සමගාමීව පුස්තකාලයක් සහිත සීමා මන්දිරයක්, භික්ෂු අධ්‍යාපනය සඳහා නේවාසික පහසුකම් සහිත කුටි සංකීර්ණයක්, සැදැහැවතුන් සඳහා විශ්‍රාම ශාලාවක් හා දැනට පවතින ධර්ම ශාලාව වැඩි දියුණු කිරීමේ යන සාසන චිරස්ථිතිය පිණිස සැලසුම් කිහිපයක් ඉදිරිපත් වී ඇත.

ඉහත සත්කාර්යයන්ට සහ සම්බන්ධ වීමට ලොව වසන සැදැහැති සැමට කාරුණිකව ආරාධනා කරමු. ඔබ සැමට අනන්ත තෙරුවන් ගුණ බල සරණ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබීමෙන් සහ සසර පුරා මේ දක්වා අප කරන ලද පුණ්‍ය ධර්මයන්ගේ බල මහිමයෙන් ඔබ සැමට සියළු යහපත සැනසීම උදාවෙත්වා! සම්මා සම්බුදු සසුන මුළු ලොව තුල බොහෝ කල් බැබලේවා!

සියළු සත්වයෝ නිදුක් වෙත්වා!
තෙරුවන් සරණයි!


විමසීම්

+94 766 950950
+94 760 750850
+94 760 450850
+94 760 350850
+94 772 993840

Related Articles

Our History